දරුවා සහ මව අතර ඇති ඒ ආදරණිය හා ශක්තිමත් බැඳීම ඇති වන්නේ බිලිඳකු ලෙස ඔහු හෝ ඇය උපත ලද මොහොතේ සිට නොව , කලලයක් ලෙස මවගේ කුස තුල පිළිසිඳගත් මොහොතේ සිටය. එම බැඳීම දෙවැනි වන යම් බැඳීමක් මෙලොව ඇතැයි යන්න සිතීම පවා උගහටය. අතීත පියවරු රැකියාවට යද්දී, මවුවරු සිය දරුවන් බලා ගනිමින් ඔවුන් රැක ගනිමින් නිවසේ රැඳුනහ. නමුත් වසරින් වසර ගෙවී යද්දී, දිනෙන් දින තාක්ෂනය දියුණු වෙද්දී, අවශ්‍යතාවයන් වැඩි වැඩියෙන් මතු වෙද්දී, දෛනික ජීවිතය සංකීර්ණ වෙද්දී, එසේ නිවසෙහි හිඳ සිය දරුවන් රැක ගැනීමට , ඔවුන්ව මනාව පෝෂණය කිරීමෙහි හැකියාවක් මවට තව දුරටත් නොතිබුණි. ඇයද රැකියාවක් කරන්නට පෙළඹෙන්නේ එම මොහොතේදීය. මෙසේ ඇය රැකියාවකට යාම නිවසේ ආර්ථිකයට මහත් උපකාරයක් වුවද, මව හා දරුවා අතර ඇති ඒ උත්තරීතර සබැඳියාව යම් තරමකට කඩා ඉහිරවන්නට සමත් විය.

බ්‍රිතාන්‍යයේ දෘෂ්ටි විශේෂඥයන් පිරිසක් විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළි වුයේ ඉහත තත්ත්වය කුඩා දරුවන්ගේ ඇස් පෙනීම ඉතා දුර්වල කරන බවය. බොහෝ කුඩා දරුවන් නිවසෙන් එලියට බැස ක්‍රීඩා වල නිරත වීමට වඩා පැය ගණන් ipad , laptop පරිගණක හා ස්මාර්ට් ජංගම දුරකථන වල ඇති විවිධ games හා යෙදවුම් වලට අවධානය යොමු කර සිටීම නිසා හැදෙන වයසේ සිටින ඔවුන්ගේ දෘෂ්ටිය දුර්වල වී කුඩා වයසේදීම උපැස් යුවලක් පැළඳීමට ඔවුන්ට සිදුවන බව එහිදී තව දුරටත් අවධාරණය කර ගැනුනි. බොහෝ විට මෙහිදී ඇති වන්නේ අවිදුර දෘෂ්ටිකත්ව තත්ත්වයයි. සමීක්ෂකයන් පවසන පරිදි මෙහිදී සිදුවන්නේ දරුවන් අවිදුර දෘෂ්ටිකත්වය ඉදිරියේ පෙළ ගසෙන්නාක් බඳු ක්‍රියාවකි. විශේෂයෙන්ම බොහොමයක් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතා කිරීමෙහි හැකියාව ඇති වත් පොහොසත්කම් සහිත පවුල් වල දරුවන් මෙම තත්ත්වයට ගොදුරු වන බව එයින් පැහැදිලි වේ. මෙයට පිළියම විය යුත්තේ දරුවන් සඳහා කාලය වැය කිරිමට නොහැකි තරමට ඔබගේ ජීවන රටාව කලබල නම්, දරුවන් එවන් ඉලෙක්ට්‍රොනික උපාංග වෙත යොමු නොකර, පොත් පත් කියවීම වැන්නකට යොමු කිරීමයි. නැතිනම් නිවසෙන් පිටත ක්‍රීඩා කල හැකි ආකාරයේ ක්‍රීඩා භාණ්ඩ ආදිය ලබා දීම , දරුවාගේ ඇස් පෙනීම ආරක්ෂා කරගැනීම පමණක් නොව , ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරගැනීමටද , ඔහු තුල සාමුහිකත්වය, ක්‍රියාශීලිත්වය හා නායකත්වය වැනි ගති ගුණාංග ඇති වීමටද හේතු වේ.
කොතරම් කලබලකාරී හා තරඟකාරි ජීවන රටාවක හිමිකරුවකු වුවද, දරුවකු සිටින මවක් තමන්ට හැකි සෑම විටෙකදීම සිය දරුවා කෙරෙහි අවධානය යොමු කිරීම හැමවිටම වැදගත්ය. එයට හේතුව දරුවා නළවා ගැනීමට ipad , පරිගණක හා ජංගම දුරකථන ආදිය දීමෙන් ඔබගේ දරුවාගේ ඇස් පෙනීම දුර්වල වන නිසා පමණක්ම නොව ඔහුගේ ගතිගුණ හා වැඩුණු මිනිසුන් ලෙස ඔවුන් අනාගතයට පිය මනින මොහොතේදී ඔහු කරන කියන සේරම දෑ රඳා පවතිනුයේ ඔබ ළමා කලදී ඔවුන්ට කියා දුන් ගුන ධර්ම මත බැවිනි. මුදල් ඉපයීම පවා ඔබ කරන්නේ දරුවන්ගේ යහපත සඳහා වන බව සැබෑවකි. නමුත් ජීවිතයේ එක වරක් පමණක් පැමිණෙන ළමා කාලය මෙවන් ඛේදනීය හේතු නිසා මිලින වන්නේ නම්, කෙතරම් වත් පොහොසත්කම් ඇතුව ජීවත් වුවද පලක් නැත.
0 Comments