Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

සිංගපූරුවේ සොඳුරු උයන - "Gardens by the bay"




ස්වභාව ධර්මයේ නිර්මාණයක් හෝ වේවා, මිනිස් අතකින් කරන ලද එකක් හෝ වේවා මේ මිහිතලය මත ඇති ඇතැම් නිර්මාණ මෙලොවට අයත් නැතැයි සිතීමට තරම් අප පෙළඹෙන ආකාරයේ ප්‍රදේශ, ස්ථාන ලොව ඕනෑ තරම් ඇත. සිංගප්පූරුවේ "Gardens by the bay" එවන් ස්ථානයකි. වලාකුළු වලින් සැදී වියනට පෙම් බඳින තුරු මුදුන් වලින් සපිරි මෙම උයනේ ඇති තවත් දර්ශනීය අංගයක් නම්, ලොව උසැතිම ගෘහස්ත දිය ඇල්ලද මෙය තුල පිහිටා තිබීමයි.


සිංගප්පූරු ඔටුන්නෙහි මැණික මෙන් සැලකෙන්නේ Marina Bay ප්‍රදේශයයි. දූරියන් හැඩති Esplanade රංග ශාලා, අහසට සිපින උස කුළුණු , සිප්පි හැඩති දර්ශනීය කෞතුකාගරයකින්ද, Marina Bay Sands නම් අරුම පුදුම හොටලයෙන්ද සමන්විත එය ඉතාම දැකුම්කලු ලෙස හැම දිසාවම දැකගත හැකි ප්‍රදේශයකි.
මෙහි ඇති සුන්දර බව තව තවත් වැඩි කරවීමේ අදහසින් Marina Bay Sands හෝටලය පිටුපස භාගයේ Gardens by the Bay උයන ඉදිවීයේ 2012 වසරේදීය. ඩොලර් බිලියන ගණනක් වැය කර , ස්වභාව ධර්මයට මිනිස් අතින් සාදා දුන් තිළිණයක් බඳු මෙම නිර්මාණය, ඔබගේ සිත් සතන් එයට වසඟ කරන්නාක් මෙන්ම , එය විද්‍යාත්මක සිනමා පටයක දර්ශන තලයකට පිවිසුනාක් මෙන් ඔබව පුදුම කරවනු නියතය.


ඔබ මේ උයනට පය තබන පළමු ඇසිල්ලේදීම , ඔබගේ නෙත ගැටෙන පළමු දෙය වනු ඇත්තේ Supertreeලෙසින් හැඳින්වෙන මීටර 25ක සිට මීටර 50ක් පමණ ඉතාමත් උසට සැකසුනු කුළුණු ආකාර ගස් විශේෂයකි. මෙය සත්‍ය ගසක් නොවන අතර, ගස් ආකාරව සකසන ලද, ගස් වල මූලධර්මය සලකමින් මිනිස් අතින් නිර්මාණය කරන ලද්දකි. මේවයේ කඳ ආකාර කොටසේ විවිධ පර්ණාංග , වැල් වර්ග, ඕකිඩ් හා වෙනත් පැලැටි වර්ග එතී පවතින අතර එය එහි මුදුන දක්වාම පැතිරී ඇත.

මෙම සෑම Supertreeඑකක්ම සාමාන්‍ය ගසක ඇති ලක්ෂණ පිළිඹිබු කරන ඒවා වේ. එනම් ප්‍රභාසංස්ලේෂණය, ශ්වසනය ආදී ජීව ක්‍රියාවලි ඉතාම සක්‍රිය ලෙස සිදු කරමින් පරිසරයෙන් ශක්තිය උරා ගැනීමට මෙන්ම එය පිට කිරීමටද මෙම ගස් වර්ගය හැකියාව දරයි. එසේම වැටෙන වැසි ජලය එකතු කරගනිමින් Gardens by the Bay උයන වටා සංසරණය කල හැකි ආකාරයේ වාරිමාර්ග නිමැවුමක් මෙහි ඇත. සිංගප්පූරු ඩොලර් 5ක පමණ මුදලකට උත්තෝලකයක (elevator) නැගී මෙම Supertreeඑකක් මතට ගොස් වටපිටාව නැරඹීමේ හැකියාවද මෙහිදී ඔබට ලැබෙනු ඇත. Supertreeසමුහය පසු කර එන ඔබට කාලගුණය පාලනය කරන ජෛව කොත් (climate-controlled bio-dome) දැකගත හැකි වනු ඇත.
එයින් එකක් තුල වියලි කාලගුණයක් එනම් සෙල්සියස් අංශක 23ත් 25ත් අතර ප්‍රමාණයේ වූ උෂ්ණත්වයක් පවත්වා ගන්නා මධ්‍යධරණී කලාපීය , ඕස්ට්‍රේලියානු , දකුණු ඇමෙරිකා හා දකුණු අප්‍රිකානු ප්‍රදේශ වල වැවෙන ශාක වර්ග වගා කර ඇති අතර , අනෙක් කොත Cloud Forest නමින් හැඳින්වෙන ඉතාම සිසිල් දේශගුණයකින් සපිරි තෙතමනය සහිත කාලගුනයකින් යුතු මිනිස් අතින් නිමවන ලද නිවර්තන කලාපිය කඳු වැටියකින් සමන්විත වේ. එම කඳු වැටිය මුහුදු මට්ටමේ සිට මීටර 1000ත් 3000ත් අතර උසකින් යුතු වේ. එසේම මෙම කොතට පිවිසෙන තැනදී ඔබගේ ගත සිත සිහිල් කරවමින් ඇදෙන මාරුතය සමඟම ඔබට දිස්වනු ඇත්තේ මීටර 35ක් පමණ උසකින් යුතු , පෙර සඳහන් කරන ලද ලොව උසැතිම ගෘහස්ත දිය ඇල්ලයි.  
මෙහිදීද උත්තෝලකයක නැගී එහි මුදුනටම ගමන් කිරීමේ හැකියාව ඔබට ලැබෙනු ඇති අතර සුන්දර දිය සෙවෙල් , මීමණ ආදිය සහිත "අතුරුදහන් වූ ලෝකය" නොහොත් "lost world" උයනට පිවිසීමට ඔබට පුළුවන. එහිදී කඳු ගැටය සිසාරා ගමන් කරමින්, එය වටා වූ පරිසරයේ සිත්කළු දර්ශනයන් විඳීමට ඔබ වාසනාවන්ත වනු ඇත. එහි මග දුරක් ගමන් කරන විටදී මෙම කඳු වැටියේ හිරිගල්, හුණු ගල් ආදී විවිධ පාෂාණ වර්ග දැක ගැනීමටද ඔබට හැකිය. එසේම ඉන්පසුව එහි පවතින විශේෂ කුටියක් තුලදී , පිටත කාලගුණික තත්ත්වයන්ගෙන් බාධාවක් නොවී , එම කාලගුණයට අභියෝගයක් කරමින් මෙලෙස නිවර්තන කලාපිය කඳු වැටියක පහස ඔබ වෙත ලඟා කරදෙන්නේ කෙසේදැයි දැනුවත් කිරීමක් වීඩියෝ දර්ශන මඟින් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇත.

Cloud Forest වෙත යාමට ඔබට වැය වන්නේ සිංගප්පූරු ඩොලර් 28ක පමණ මුදලකි. එම මුදලටත් වඩා වටිනා , ඉතා දුර්ලභ අත්දැකීම් රැසක් ඔබට එහිදී ලැබෙනු ඇත. ස්වභාව ධර්මය සිය කැපවීමෙන් අප නෙත් සිත් පිනවීමට විවිධ අපූර්ව නිර්මාණ රැසක් තිලින කර ඇත. නමුත් අද බොහෝ දෙනා තැත් කරන්නේ එම සුන්දර නිර්මාණ විනාශ කිරීමට මිස ඒවා රැකගැනීමට නොවේ. එවන් කාලයක එක වරකට හෝ මේ පරිසරය සුන්දරත්වය වැඩි දියුණු කරවන , පරිසරයට හිතැති මෙවන් නිර්මාණයක් සියතින්ම නිමවා ස්වභාව ධර්මයට තිලින කිරීම කෙතරම් සොඳුරුද?

Post a Comment

0 Comments