Hacker නොහොත් "හැකරුන්"යනුවෙන් ඇසුණු විගස ඔබගේ මනසට පිවිසෙන්නේ වෙනත් අයෙකුගේ පරිගණකයකට නීති විරෝධී ලෙස ඇතුලත් වී එහි දත්ත සොරා ගන්නා වෙනත් පරිගණකයකට වෛරස හෝ Spyware වැනි හානිදායක අයිතමයන් එකතු කරනා , එමඟින් වෙනත් පුද්ගලයන්ව අපහසුතාවයට පත් කරනා , ඇතැම් විට පරිගණකගත දත්ත ඇසුරෙන් ආර්ථිකය විනාශ කරන, සයිබර් යුද්ධයක් ඇති කරවන අයෙකුගේ මුහුණකි. Hacker යන පදයට මෙතරම් අපකීර්තියක් ලැබී ඇත්තේ මාධ්‍ය මඟින් ඔවුන්ට එරෙහිව පවසන ,ඉදිරිපත් කරන කරුණු නිසාය. එපමනක් නොව ඉහත කී ආකාරයේ ඉතාම පහත් තත්වයේ කටයුතු වල නිරත වන පිරිස් ද සිටීම මෙම වදනට එවන් කැළැල් රැසක් එකතු වීමට හේතු වී ඇත. නමුත් ලොවේ සිටින සියලුම හැකරුන් පිරිස සැළකු විට ඔවුන් අතරින් එසේ අපකීර්තිමත් ලෙස කටයුතු කරන අය ඇත්තේ ඉතාම සුළු පිරිසකි. සත්‍ය වශයෙන්ම Hacker කෙනෙකු ගැන පැවසිය හැක්කේ මෙවන් කරුණකි. එනම්, යකා කියන තරම් කළු නැති බවය.
Computer Hacker යන පදය පළමුවෙන්ම වාග්කෝෂයට පැමිණියේ 1960 වසරේ මැද භාගයේදී ය. එකල Hacker යනුවෙන් හැඳින්වුණේ programmer හෙවත් පරිගණක වල ක්‍රියා කිරීමට අවශ්‍ය මෘදුකාංග ආදිය නිෂ්පාදනයේදී ඒවා කේත (program) කිරීමට දායක වන පුදගලයෙකි.වෙනත් කිසිඳු අයෙකුට නොසිතෙන ආකාරයෙන් පරිගණකය දෙස බැලිය හැකි ඉතාම තියුණු ඇසක් මොවුන් සතු වූ අතර, ඔවුන් පරිගණක ලොවේ ප්‍රමුඛයන් විය. ඉතාම කුඩා මෘදුකාංගයක සිට පරිගණක ක්‍රියාකාරී පද්ධතියන් ( operating system) දක්වා නිර්මාණය කිරීමේ හැකියාව මොවුන්ට තිබුණි. මේ ආකාරයෙන් ගත් කල පරිගණක ලොව හෙල්ලූ නිර්මාණ බිහි කල ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස් , ස්ටීව් වොස්නියැක් ආදි පුද්ගලයන්ද Hacker කෙනෙකු විය. ඔවුන් පරිගණකය දෙස නව ඇසකින් බලා , එහි හැකියාවන් පිළිබඳව හඳුනාගෙන එම හැකියාවන් භාවිතා කරමින් නවතම නිර්මාණ බිහි කරන්නට සමත් විය.
පරිගණකයේ පරිනාමයත් සමඟ පරිගණක ඉංජිනේරුවන් වෙන වෙනම පැවති පරිගණක එක් කර අන්තර්ජාලය හරහා පරිගණක ජාල පද්ධතියක් සෑදීමට ඇරඹුහ. මේ සමගම hacker යන වදනට නව අරුතක් එක් විය. එනම් , ඔවුන් තමන්ට අයත් නැති පරිගණකයකට වුවද අන්තර්ජාලය හරහා එකතු කරන ලද පරිගණක ජාල පද්ධතිය ඔස්සේ පිවිසීමට හැකියාව ඔවුන්ට ලැබුණි. හැකරුන් ගේ නමට කළු පැල්ලම් එක් වන්නට ගත්තේ මෙයින් පසුවය.
මෙසේ අන්තර්ජාලය හරහා වෙනත් අයෙකුගේ පරිගණකයකට පිවිසීමට ඇති හැකියාව වරදවා ලෙස යොදා ගනිමින් , පරිගණක දත්ත සොරා ගැනීමට , පරිගණක වෛරස පැතිරවීමට එක් පිරිසක් පටන් ගත්තේ ඉන් පසුවය. වෙනත් අයගේ කටයුතු වලට ඇඟිලි ගැසීමට , ඔවුන් අපහසුතාවයට පත් කිරීමට ඇති කැමැත්ත වැනි අසහනකාරී හැඟීම් තෘප්ත කරන තෝතැන්නක් බවට මෙය පත් කරගත් ඔවුන් , එතෙක් කල් හැකරුන් සඳහා තිබු හොඳ නම විනාශ කර දැමීමට සමත් විය. නිවැරදි එය සිය හැකියාවන් යොදා ගන්නා හැකරුන් පිරිස් එය යොදාගත්තේ තව දුරටත් පරිගණකය නම් මෙම කෘතීම ජීවියා අධ්‍යනය කර, එය තව දුරටත් සංවර්ධනය කල හැකි ආකාර ගැන කල්පනා කිරීමට වුවත් සුළු පිරිසකගේ පැවති පහත් තත්ත්වයේ අදහස් නිසා එවැනි නව නිර්මාණ බිහි වුවත්, හැකරුන් යන පදයට ලැබී ඇති කැළල මකා දැමීම තවමත් අපහසු වී ඇත. හැකරුන් හා හැක්කරණය පිළිබඳ තවත් රසබර ලිපියක් සමගින් ලබන මසදී හමුවෙමු.....
0 Comments