Header Ads Widget

Responsive Advertisement

Ticker

10/recent/ticker-posts

Microsoft Cloud


Cloud පහසුකම ලබා දෙන සේවාවන් කිහිපයක් පවතින බව අපි දනිමු. කුමන සේවාව තෝරා ගත යුතු දැයි ඔබට ගැටලුවක් පවතින්නට පිළිවන. එහෙත් මතක ධාරිතාව අතින් එක් සේවාවක් ඉදිරියෙන් සිටින කල, පහසුකම් අතින් වෙනත් සේවාවක් ඉදිරියෙන් සිටී. මේ නිසා ඔබ තෝරා ගත යුතු සේවාව තීරණය වන්නේ ඔබේ අවශ්‍යතාව මත ය.

Microsoft සමාගම, ඔවුන් ගේ SkyDrive පහසුකම OneDrive ලෙස නව මුහුණුවරකින් හඳුන්වා දීමත් සමග එයින් සැලසෙන සේවාවන් පුළුල් වී ඇති බව දැක ගත හැකි ය. Cloud පහසුකම ලබා දෙන Dropbox, Microsoft OneDrive, Google Drive, Apple iCloud සහ Amazon Cloud Drive වැනි සෙසු සේවාවන් ද සංසන්දනාත්මක ව විමසා බැලීම මෙම සටහනේ අරමුණ යි.
Img
ඉහත සේවාවන් යටතේ, Windows සහ Mac පරිගණකවල දී Cloud වෙත files upload කිරීමට අවස්ථාව ලබා දීම සිදු කෙරෙන නමුත්, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය වෙනුවෙන් iCloud app එකක් නිකුත් වී නැත. Windows Phone සඳහා මේ වන විටත් OneDrive app පහසුකම ලබා දීමට Microsoft සමාගම සමත් වී තිබේ. iOS සහ Android යනු බොහෝ දෙනා ගේ අවධානයට ලක් වන මෙහෙයුම් පද්ධති දෙකක් වන නමුත්, වර්තමානය වන විට වඩාත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය බවට Windows Phone පත් ව ඇත. OneDrive පහසුකම ප්‍රචලිත කිරීමට මෙය ඉවහල් වේ.
නොමිලේ ලබා දෙන මතක ධාරිතාව පිළිබඳ ව සලකා බලන කල, Google Drive ඉදිරියෙන් සිටී. Google ගිණුමකට ලියාපදිංචි වීමේ දී ලබා දෙන මතක ධාරිතාව 15 GB අගයක් ගන්නා අතර, දෙවැනි ස්ථානය ලබා ගන්නා OneDrive ලබා දෙන්නේ 7 GB මතක ධාරිතාවකි. මෙය පළමු ප්‍රමාණයෙන් අඩකටත් අඩු බව ඔබට අවබෝධ වනු ඇත.
Img
ඇපල් සහ ඇමසන් මගින් 5 GB ප්‍රමාණයක් ලබා දෙන අතර, Dropbox මගින් ලබා ගත හැක්කේ 2 GB මතක ධාරිතාවක් පමණි. cloud සේවාවන් අතර පැරණිතම සේවාවන් ගෙන් එකක් වන Dropbox වෙතින් ලැබෙන මතක ධාරිතාව ඒ කාලය වන විට ඉහළ අගයක් වුව ද වර්තමානය වන විට ඉතා සුළු අගයක් බවට පත් ව තිබේ. එහෙත් ඔවුන් ගේ සෙසු සේවා භාවිත කරන්නන් හට මෙම ප්‍රමාණය 16 GB දක්වා ඉහළ නංවා ගැනීමේ හැකියාව පවතී. OneDrive මගින් ද මෙම පහසුකම සැලසෙන අතර, තම සේවාවට referrals සම්බන්ධ කිරීමෙන් 5 GB ධාරිතාවක් ද auto-camera-backup සේවාව ක්‍රියාත්මක කිරීමෙන් 3 GB ධාරිතාවක් ද ලබා ගත හැකි ය. මොවුන් ගේ අරමුණ තම සේවාවට වැඩි දෙනකු සම්බන්ධ කර ගැනීම බව පැහැදිලි ය. කෙසේ වෙතත් මතක ධාරිතාව අතින්, Google Drive ඉදිරියෙන් සිටී.
මෙසේ නොමිලේ ලබා දෙන මතක ධාරිතාවට අමතර ව මුදල් ගෙවා යම් මතක ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව ද පවතී. මේ අතින් ඉදිරියෙන් සිටින්නේ ඇමසන් සමාගම යි. එක් ඩොලරයක් මගින් මසකට 24 GB මතක ධාරිතාවක් ලබා ගැනීමේ පහසුකම එමගින් සැලසේ. OneDrive මගින් 50 GB සඳහා ඩොලර් 25ක මුදලක් ද Cloud Drive මගින් 20 GB සඳහා ඩොලර් 10ක මුදලක් ද අය කෙරේ. Google Drive, 100 GB සඳහා මසකට ඩොලර් 4.99ක මුදලක් අය කරයි. එයින් අදහස් වන්නේ ඩොලරයකට ලැබෙන මතක ධාරිතාව 20 GB අගයක් ගන්නා බවකි. Dropbox upgrade කිරීමෙන් 100 GB ධාරිතාවක් ලබා ගත හැකි අතර, ඒ සඳහා මසකට ගෙවිය යුතු මුදල ඩොලර් 9.99කි. එයින් ගම්‍ය වන්නේ ඩොලරයකින් ලබා ගත හැක්කේ 10 GB මතක ධාරිතාවක් බව යි. iCloud සේවාවේ දී 3 GB සඳහා ඩොලරයක් ගෙවිය යුතු වන අතර, එය මසක කාලයක් වලංගු ය. වසරකට ඩොලර් 20ක් ගෙවා 5 GB ලබා ගැනීමේ හැකියාව ද පවතී.
මෙම සියලු කරුණු සලකා බැලීමේ දී පෙනී යන්නේ, මුදල් ගෙවා ලබා ගත යුතු මතක ධාරිතාව අතින් ඇමසන් ඉදිරියෙන් සිටින බව ය. පහසුකම් අතින් Apple සේවාව ඉදිරියෙන් සිටින බවට විවාදයක් නැත. සාම්ප්‍රදායික පහසුකම් වෙනුවට, විවිධ apps හා උපකරණ සමග සම්බන්ධ වීම, passwords මතක තබා ගැනීම, backups තබා ගැනීම වැනි පහසුකම් ඔස්සේ මෙය හුදු cloud සේවාවකින් ඔබ්බට ගිය සේවාවක් බවට පත් වේ. OneDrive සහ Google Drive, Google Docs සහ Office Online වැනි සේවා සඳහා සීමා වී ඇති අතර, Dropbox මගින් auto-camera-backup පහසුකම ද Amazon Cloud Drive මගින් Cloud Player හි ඇති සංගීතය sync කිරීමේ හැකියාව ද ලබා දේ.
Microsoft OneDrive හි පෙනුම සරල ය, මේ නිසා භාවිතය ද පහසු වේ. Dropbox සහ Amazon Cloud Drive සේවාවන් ගේ වැනි අතිශය සරල පෙනුමක් හෝ Appleහි බඳු තාක්ෂණික පෙනුමක් හෝ එහි නැති බැවින් ඔබේ සිත් ගනු නොඅනුමාන ය. කෙසේ වෙතත් නැවත සඳහන් කළ යුත්තේ, මේ සේවාවන් අතරින් යමක් තෝරා ගැනීමේ දී ප්‍රමුඛත්වය ලබා දිය යුතු වන්නේ ඔබේ අවශ්‍යතා සඳහා බව යි.

Post a Comment

0 Comments